උදෑසනක් සේම මහ නිලමේ වෙත ද අතිදරුණු ගිජුලිහිණියෙක් පියාඹා එයි. ඌ එන්නේ අඹුදරුවන්, ඥාතීන්, නිජබිම පිළිබඳ මතකයේ පියාපත් සලමිනි. අසිපත් මෙන් තියුණු උගේ හොටෙන් ඇසළ බණ්ඩාරගේ ළය හෑරෙන්නේ දරු සෙනෙහස රැඳුණු ඇට මිඳුලු සොයා යන්නාක් මෙනි. මේ ගිජුලිහිණියා සොයන්නේ මහනිලමේගේ හදවතය. පක්‍ෂියා, හිරු අස්තගත වීමත් සමඟ ම ආපසු යන්නේ ද නැත. සමහර විට මැදියම හෝ තුන්වන යාමයත් පසු වන තුරු හදවත ටිකෙන් ටික බුදිමින් සිටියි. අරුණු නැගෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී එලඹෙන කෙටි නින්දේ දී දරුවෝ සතර දෙන අමා ඔසු පිරුණු කුසලාන ගෙන පියතුමන් හමුවීමට එති. පියාණන්ගේ හදවතේ තුවාල සුවපත් කරන ඒ සුර දූතයෝ හිරු උදාවත් සමඟ අතුරුදහන් වෙති.