අතීත සිද්ධි ආවර්ජනය කරමින් තමා කොතෙක් වේලාවක් පොකුණු කණ්ඩිය මත හිඳගෙන සිටියේ දැයි අබරං අප්පුට නිශ්චය කළ නොහැකි විය. ඔහු කණ්ඩියෙන් බැස මෙතෙක් දත්වල උලමින් සිටි බෝඹු කෝටුව ඉවත විසිකර අවට බැලුවේය. අවට ගනඳුර මඳකින් හෝ දුරුවන්නේ තරුමල් පිපී ඇති අහස් වියනෙන් විහිදෙන මන් ආලෝකයෙනි. එම එළිට හසු වූ පොකුණ තුළ සුළඟින් සැලෙන ජලය රිදී දියාරුවක් වැන්න. සිය දහසක් කාමි සතුන්ගේ නාද බඩ වැටිය දෙසින් ඇසෙයි. ඒ හා මුසු වී නොකඩවා ඇසෙන. වෙලේ ගොයම් සුළඟට හසුවීමෙන් නැඟෙන සේද පට ඉරන්නාක් වැනි සිහින් හඬ එක දිගට වැයෙන වාදනයක් මෙන් කන්කළුය.
වෙලෙන් එගොඩ බබාහාමිගේ ගෙවල් පිහිටා ඇති ස්ථානය සිතින් නිශ්චය කර ගැනීමට අබරං අප්පු වෑයම් කළේය. ඇගේ සිහින් දිගටි මුහුණත්, අක්බමරු කෙස් කළඹ හා අව්‍යාජ දෙනෙතත් සිහිපත් කළ ඔහු තමා මහත් සේ ඇලුම් කළ කලාකෘතියක් සිහිනෙන් අත ගෑ සහෘදයකු මෙන් සන්තෝෂයට පත්වූවේය.