ඇටඹගහ කුඹුර පිහිටල තියෙන්නේ අමුතු ස්වාභාවික ලස්සනකට. කුඹුරට නම වැටුණ ඇටඹගහ යට ලොකු ගලක් තියෙනව. කුඹුර වැඩ කරන කාලෙට තේ බීවෙ, බත් කෑවෙ මේ ගල උඩතියාගෙන. කන්දෙන් ගලා ආ දොළ පාර යන්නෙ ගල අයින දිගේ. යාර දෙතුන් සීයක් පළල කුඹුර පැත්තකින්, කඳු බෑවුමක්. කඳු බෑවුමේ කැලෑවේ දිස්වෙන තද කොළ පාට ඈතකඳු දෙකක් තුනක් තරම් දුවන කොට යන්තම් නිල් පාටකට හැරෙනව. එහි ලස්සන අමුතු ඇසකින් මට පෙනෙන්න පටන් ගැනුණා. නිල් පාටට කහපාට එකතු වුනාම කොළ පාට හැදෙන බව මං මුලින්ම දැක්කෙ පන්සලේ බුදුගේ පාට කරනව බලන් ඉන්නකොට. මට අද මේ දර්ශණය පෙනුණෙ නිල් පාට බාල්දියක් අහසින් වක් කරල ඊට වැඩිය ලොකු බාල්දියකින් කහ වතුරක් වත් කරල වගේ. නිල් පාට උඩින් දුවපු වැ කහ පාට රන්වන් ගොයමක් වී ඇටඹගහ කුඹුරෙ දිලිසුණ. කහ පාටට නිල් පාට එකතු වුණ හැම තැනම කොල පාටින් දිළිසුණා. ඒ චමත්කාර දර්ශණයෙන් මොහොතක් මිදුන දස මටම අදහගන්න බැරි වුනා. පැය බාගයක ඇතුලත දී කුඹුරෙන් තුනෙන් එකක් පමණ ගොයම් කපා විතරක් නොවෙයි පෑගීමත් පටන් අරගෙන. හැම පොඩි කොලු කෙළි පැටියෙක්මත් ගොයම් කැපීමට එකතු කිරීමට සහබාගි වෙන හැටි දැක්කාම ලොකු තෘප්තියක් දැනුණ. හැම තැනම එකම එක තරඟයකට කරන සෙල්ලමක් වෙල. ගොයම් කපන ගැහැණු පරදවන්න අදින වුන් උත්සාහයක. අදින අය පරද වන්න පාගන අය වෙහෙසෙනව.