අකාලයේ වහින වැස්ස හරිම සැරයි, දරා ගන්න අමාරුයි. මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ? 'කිරි මුහුදේ' රැළි මැවෙන තැන හොයාගන්නවමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලාගෙන හිටියා. එත් බෑ. වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යන කොට මැයි මල් ගස් වල හෙවණ හරී සනීපයි. ඇයි අතරින් පතර තියන රෙබරෝසියා? රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මූනෙ දැවටිලා ආයෙමන් මාළිගාව දිහාටම යන්න හදන කොට මට ලෝභයි. එත් කොහොමද සුළං රැල්ල නවත්තන්නේ? එකත් 'කිරි මුහුදේ ' මැවෙන රැළි වගේ. පොරි අහුරක් කන්න පොර කන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් කිරි මුහුදේ රැළි මැවෙන තැනක් හොයා ගන්නවමයි.ඒත් මට පීනන්න බෑ. පිනන්න තියා ඇවිදින්නවත් බෑ... නිකන්ම පාවෙලා යනවා. හෙවණැල්ලක්වත් නැතිව. මං එහෙම යන කොට දළදා වහන්සේට පුජ කරන මල් වල සුවඳ මට දැනෙන්නේ නෑ. හුළගේ වේගෙට කැළඹෙන මැයි මල් පොකුරු බිමට වැටෙනකොට අකාලයේ වහින වැස්ස ඊට වඩා හොදයි කියලා හිනෙනව. සුළඟ නපුරුයි. තවන් වැහැපන් අකාලයටම. එත් ඔය අල්ලන් ඉන්න අත අතඅරින්න නම් එපා මිතිල.